1969 අංක 1 දරන පනතින් පිහිට වූ ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව මේ වර්ෂය වන විට පුරාවසර 50 ක් තම මෙහෙවර ජාතිය වෙනුවෙන් ඉටුකර ඇත. ආනයන හා අපනයන පාලනය කිරීමේ අරමුණ පෙරදැරිව මෙම දෙපාර්තමේන්තුව ආරම්භ කළද වර්තමානය වන විට ඊට අදාළ ප‍්‍රතිපත්ති සම්පාදකයෙකුගේ කාර්යයද ඉටු කරනු ලබයි.

වර්තමානය වන විට දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ආනයන හා අපනයන පාලන යාන්ත්‍රණය‍ කි‍්‍රයාත්මක කිරීම ඉක්මවා ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳව ප‍්‍රතිපත්තිමය තීරකයා ලෙසද. ආනයන හා අපනයන සඳහා පහසුකම් හා ප‍්‍රවර්ධන‍ය කිරීම දක්වා ද පුළුල් වී මෙම කාර්යභාරය ජාතික ආරක්ෂාව, මහජන සුභසිද්ධිය, පරිසරය හා මහජන සෙඛ්‍ය සුරක්ෂිතතාව ආරක්ෂා කිරීම යන මුලික අභිමතාර්ථ ඇතිව සිදුකරනු ලබයි .

තවද, ජාත්‍යන්තර වෙළඳාම තුළ ශ්‍රී‍ ලාංකීය අනන්‍යතාවය සුරක්ෂිත වන පරිදි අපනයන භාණ්ඩ සඳහා ප‍්‍රමිතිකරණයක් හදුන්වාදීම ද මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය අතරට වැටේ. ඊට අමතරව විනිමය පාලන දෙපාර්තමේන්තුව සමග එක් වී විනිමය පාලන රෙගුලාසි කි‍්‍රයාත්මක කිරීම සඳහා ප්‍රායෝගික‍ පියවර ගැනීමද නව ප්‍රවණතාවයකි.

ශ්‍රී‍ ලංකාව විසින් අපරානුමත කරන ලද බාසල්, ස්ටොක්හෝම් සහ රොටර්ඩෑම් වැනි ජාත්‍යන්තර සම්මුතීන්ට අනුගතව ආනයන හා අපනයන නියාමනය සඳහා පියවර ගෙන ඇත. එසේම, පරිසරයට හා මහජන සෞඛ්‍යට අහිතකර වන්නා වු ග්ලයිපොසේට් වැනි රසායනික ද්‍රව්‍ය ආනයනය පාලනය හෝ තහනම් කිරීම සඳහා පියවර ගෙන ඇත. ආනයනය කරනු ලබන ඖෂධ සදහා 2/3ක ජීව කාලය අනිවාර්‍යය කිරීම, කල් ඉකුත් වූ ඖෂධ ආනයනය වැලැක්වීමට ගත් වැදගත් පියවරකි.

ශ්‍රී ලංකාව සේද මාවතේ ඉන්දියන් සාගරයේ ඉතා විශේෂිත ස්ථානයක පිහිටා ඇති බැවින් ජාත්‍යන්තර වෙළදාම තුළ ඉතා සුවිශේෂී ප්‍රතිඅපනයන ස්ථානයක් ලෙස හදුනා ගෙන ඇත. චීනය හා ඉන්දියාව විසින් අනුගමනය කරනු ලබන නව ආර්ථික ප්‍රවර්ධන වැඩසටහන් වලදී දේශීය වශයෙන් උසස් ප්‍රතිපත්ති රාමුවක් තිබීම ඉතා වැදගත් වේ. ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව පසුගිය වසර තුළ ආනයන හා අපනයන පාලනය සම්බන්ධව ප්‍රතිපත්තිමය වශයෙන් වැදගත් තීරණ ගෙන ඇති අතර අන්තර්ජාතික වශයෙන් විදේශීය රටවල් සමග අන්‍යොන්‍ය වශයෙන් සබදතාව තහවුරු කරගෙන ඇත